සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, March 3, 2013

Polonnaruwa Thuparama Image House


ථූපාරාම පිළිමගෙයි හිටි පිලිමය.

මෙම බුදු පිළිමය පොලොන්නරුව යුගයේ ඇති පිළිම ගෙවල් තුළ තැන්පත් කර ඇති ගල් මාධ්‍යයෙන් තනන ලද විශිෂ්ඨතම ප්‍රතිමාවලින් එකකි.
"අඩි 9යි අඟල් 9ක්" උස බුද්ධ ප්‍රතිමාව නිවැරදි  ප්‍රමානුපාත සහිතව පුෂ්ටිමත් අඟ පසඟ යොදා ඇත.මෙහි දකුණු අත කිහිල්ලට පහලින්ද,වමත වැලමිට අසළින්ද කැඩී ගොස් ඇත.පද්මාසනයක් මත ප්‍රතිමාව පිහි‍ටුවා ඇත.මුලදී ප්‍රතිමාවේ පාදය අසළින් කැඩී ගොස් තිබුණද වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර ඇත.

මෙහි ශෛලීය ලක්ෂණ විමසීමේදී "නන්දදේව විජේසේකර"(පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය) මෙය අනුරාධපුර ලක්ෂණවලට සමාන බව දක්වයි."චාල්ස් ගොඩකුඹුර" ද මෙය පොලොන්නරු යුගයට පෙර යුගයක තනන්නට ඇතැයි අදහස් දක්වා සිටියි.


මෙම ප්‍රතිමාවේ මුහුණේ ප්‍රකාශන ගුණය ඉතා උසස් ය.ඇස්,කන්,නාස ආදී අවයව නිවැරදි හැඩයෙන් යුතුව නිවැරදි ස්ථානයන්හි පිහි‍ටුවා ඇත.කරුණාබරිත මන්දස්මිතියකින් යුත් මුහුණේ නිකට පමණක් මදක් අනවශ්‍යලෙස ඉදිරියට නෙරා ආ බවක් පෙනේ.
සිවුර ඒකාංශ කොට පොරවා ඇත.එහි එක් කොණක් වමතින් දරා සිටින අයුරක් පෙනේ.කැඩී ඇති දකුණතින් "අභය මුද්‍රාව" නිරූපිත බැව් පැහැදිලිය.සිවුර ශරීරයට ඇලී ඇති අයුරකින් තනා ඇත.යටිකයට අඳින ලද අඳනයෙන් ශරීරයේ මාංශපේෂී තද වී ඇති අයුරු ඉඟ පෙදෙසින් දක්වා ඇත.සිවුරේ ‍රැළි සමාන්තර රේඛා මඟින්  දක්වා තිබුනද ඒවා ගල් විහාරයේ ‍රැළි වලට වඩා අජීවී බවක් ප්‍රකට වේ.චීවරය ඇඟට ඇලී ඇති නිසා ශාරීරික හැඩයද ඉන් මතුවී ඇත.
ප්‍රතිමාව ස්ථානගත කර ඇති ගෘහ නිර්මාණ ආකෘතිය ද එහි විශිෂ්ඨත්වය තව දුරටත් උද්දීපනය වන සේ තනා ඇත.බුදු පිළිමයේ දෙනෙත් වල කුහර 2ක් ඇති අතර මුල් කාලයේදී ඒවායේ මැණික් ඔබ්බවා තිබූ බව කියැවේ.පිළිමගෙයි පිළිමයේ මුහුණතට ඉදිරිපසින් ආලෝකය ගලා ඒමට කවුළුවක් තනා තිබෙන අතර එමඟින් ගලන ආලෝකය නිසා බුදු පිළිමයේ දෙනෙත් මත ඔබ්බවා ඇති මැණික් යුගළ දිලිසෙමින් ථූපාරාම ගෘහය අලෝකමත් කළ බව පැවසේ.මුල් කාලයේ මෙය වර්ණ ගන්වා ඇතිබව තිබූ බවට සාක්ෂි පවතී.අවසාන වශයෙන් නිවැරදි අඟ පසඟ වලින් යුත් විශිෂ්ඨ ප්‍රතිමාවක් ලෙස"ථූපාරාම බුද්ධ ප්‍රතිමාව"හැඳිවිය හැකිය. 



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...