සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, November 27, 2012

Stanley Abesinghe (1914-1995)



ස්ටැන්ලි අබේසිංහ (1914-1995)

20වන සියවසේ ශ්‍රී ලංකවේ පහල වූ චිත්‍ර ශිල්පීන් අතරින් ස්ටන්ලි අබේසිංහ ඉතා වැදගත් තැනක් හිමි කරගන්නා අයෙකි. ඔහු 1914 ජනවාරි 26වන දින අබේසිංහයන් ශාන්ත ජොශප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ලංකා කාර්මික විද්‍යාලයට ඇතුලත් විය.කුඩා කළ සිටම චිත්‍ර කලාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඒ මහතා අනුරධපුර,පොලොන්නරුව, මිහින්තලේ ආදී ස්ථානයන්හි වූ කැටයම් සටහන් කරගනු ලැබූවේ එවා හරි හැටි එළි පෙහෙලි වීමටත් පෙරය.දිඹුලාගල පුල්ලිගොඩ ලෙනේ දේව රූප පිටපත් කිරීමට ගොස් අලි හා වලසුන් ගහන එම කැලෑවේ උන්ගෙන් බේරීමට උස් මැස්සක් හදාගෙන වටේට ගිනිමැල ගසාගෙන තම සගයින් හා විනෝදවෙමින් එම සිතුවම් පිටපත් කල ත්‍රාසජනක කතාව ඊට හොඳම උදාහරණයකි.
එසේ චිත්‍ර පිටපත් කරමින් යන අතර තුර හමුවූ සුවිශේෂී පුද්ගලයෙකු ඔහුගේ චිත්‍ර කලා දිවිය නව මගකට යොමු කිරීමට සමත් විය.ඔහු නමින් වින්සර් වියතාණන්ය.ඔහුගේ නොමසුරු සහයෝගය හරහා එකම ශෛලියකට වහල් නොවී පෙර අපර දෙදිගම කලාවන් මැනැවින් නිරීක්ෂණය කොට හදාරා තමන්ටම ආවේනික ශෛලියක් ගොඩනගා ගැනීමට ස්ටැන්ලි අබේසිංහ මහතා සමත් විය.
 1935 දී ඉන්දියාවට ගිය අබේසිංහයන් ලුම්බිනි, ගයා, සාරානාත්, එල්ලෝරා ආදී ස්ථානයන්හි සංචාරය කොට පෙරදිග චිත්‍ර මූර්ති පිළිබඳ අවබෝධයක් ලබාගත්තේය.කොළඹ කාර්මික විදුහලේ චිත්‍ර ශිල්පය හැදෑරීමෙන් පසුව එහි දක්ෂතම ශිල්පියා ලෙසද විරුදාවලිය ලැබූ ඔහු 1949 දී රජය විසින් ලබා දෙන ලද ශිෂ්‍යත්වයකින් එංගලන්තයට ගොස් මහා බ්‍රිතාන්‍යයයේ ශාන්ත මැතිව් විද්‍යාලය ඇතුළු ආයතන කීපයකම අධ්‍යාපනය ලැබීය.ආචාර්ය බැසිල් ග්‍රේ යටතේ බිතු සිතුවම් පිළිබඳ පුහුණුවක් ද ලැබීය.ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය වැනි රටවලට ගොස් යුරෝපා චිත්‍ර ශිල්පීන්ගේ හා කලා විශාරදයන්ගේ කෘතීන් නරඹා ඒ පිළිබඳ වඩ වඩාත් දැනුවත් වෙමින් එංගලන්තයේදීද චිත්‍ර ප්‍රදර්ශණයක් තැබීමට ඔහු සමත් වූ අතර එහිදී මහනුවර පෙරහැර පදනම් කරගනිමින් ඉදිරිපත්කල "පෙරහර"නම් චිත්‍රය බොහෝ විචාරක හා ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්විය.


1952 වසරේ දී යළි ලක්දිවට පැමිණෙන තුරුම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසින් කටයුතු කළ අබේසිංහයන් මෙහි පැමිණ රජයේ කලායතනයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයට බැඳී චිත්‍ර කලාව උගන්වමින් සිට 1965 දී ජේ.ඩී.ඒ.පෙරේරා ශූරීන්ගෙන් පසුව එහි විදුහල්පති තනතුරට පත් විය.විශ්‍රාම යන තුරුම එම ධූරය හෙබ වූ ස්ටැන්ලි අබේසිංහයන් ලංකාව තුළද ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ‍රැසක් පවත්වා තිබේ.1945 දී කොළඹ ඩාලි පාරේ ඡායාරූප සමාජ ශාලාවේ පවත්වන ලද මුල්ම ප්‍රදර්ශනය ට දිය සායම් හා තෙල් සායම් චිත්‍ර 75ක් ඇතුළත්ව තිබූ අතර එහි බොහෝ ඒවා ඉතාමත්ම තාත්වික වූ අතර ඇතැම් ඒවා අර්ධ ව්‍යුක්ත විය.කිසියම් රූපයක් නිසි අයුරින් ඇඳගත නොහැකි ශිල්පීන් යැයි කියාගන්නා ඇතැමුන් "ඇබ්ස්ට්‍රැක්ට්"(Abstract)නමින් හඳුන්වනු ලබන ව්‍යුක්ත හැඩවලින් සිත්තම්කරණයෙහි යෙදීම ඔහු අනුමත කළේ නැත. ඔහු සැමවිටම පැවසුවේ පළමුව නිවැරදිව යමක් ඇඳීමට ඉගෙන ගත යුතු බවත් ඉන්පසුව ව්‍යුක්ත හැඩතල සඳහා යා යුතු බවත්ය.
පැරණි ග්‍රීක හා රෝම මූර්ති පිළිබඳ ප්ලාස්ටර් අච්චු හා වාත්තු පිළිබඳ අධ්‍යනයේදී ද ජීව දර්ශ ඇසුරුකොටගෙන ඇඳීම හා සිත්තම් කරණයේදීද අබේසිංහයන් සුවිශේෂී දක්ෂතාවයක් දක්වා ඇත.හුරුබුහුටිව හා නිදහස්ව මාධ්‍ය හැසිරවීමේදීද ජීව ආකෘති ආධාරකොට ගෙන ඇඳීමේදී ද ඉතා වේගවත් ලෙස රේඛාවකින් දෙකකින් හෝ බුරුසු පහරකින් එහි ජීව ගුණය මතු කරලීමෙහි ලා ඔහු දැක්වූ දක්ෂතාවය වෙනත් කිසිදු ශිල්පියෙකුට සමකළ නොහැකිය.ඔහුගේමුල් කලා අධ්‍යයන අවස්ථාවන් ඔහුට ඔහුගේ උපකරණත් ශ්‍රී ලංකාවේ පැරණි චිත්‍ර කලාවත් ඔහුගේ දෘශ්‍ය කලා කටයුතුවලට අවශ්‍ය හැඩතලත් සැපයීය.
 කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඇති විහාර මහා දේවියගේ ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ ද මොහු විසින් අදින ලද රූප සටහනක් පදනම් කරගනිමිනි.එහි මුල් කෘතිය රජයේ කලායතනයේ එවකට සිටි මූර්ති අංශයේ කථිකාචාර්ය වරුන් වූ මිත්‍රපාල රාජපක්ෂ හා ඒ.කේ.වී.විජේසේකර දෙපළ විසින් එම රූප සටහන බිත්තියේ අලවා ගෙන මැටියෙන් අඹනුලැබූ අතර අබේසිංහ මහතා ඊට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
1945 වසරේ දී මොහු විසින් තෙල් සායමින් අදින ලද "සංසාර ප්‍රශ්නය" නම් සිතුවම ගැඹුරු මනෝභාවයන් මතුකරන්නක් විය.සංසාර ගමන අවසානයේ දී සියළු දුක්ඛ බන්ධනයන්ගෙන් මිදී ලබන විමුක්තිය පිළිබඳ වන බෞද්ධ ඉගැන්වීම සංකේතමයලෙසින් චිත්‍රයක් මඟින් අර්ථ නිරූපනය කිරීමකි.තේමවට උචිත ගැඹුර හා ගුප්ත බව ද සාර්ථකව නිරූපනය කර ඇත.
ඔහුගේ "ගමනාරම්භය"නම් කෘතියෙන් නිරූපණය වන්නේ කන්ද උඩරට දළදා පෙරහැරේ දර්ශනයකි.අලි ඇතුන්ද,නිලමේවරුන්ද,උඩරට නැට්‍ටුවන්ගේද සමන්විත පෙරහැර මඟුල් බෙරහඬ මැද ගමන් කරන විලාශයයි.
"කුඹල්හල"නම් සිතුවම ද මොහුගේ කෘතීන් අතර ඉහළ වටිනාකමක් හිමිකර ගන්නකි.ගැමි චිත්‍ර ක්‍රමයක් නිරූපණයකරන මෙම චිත්‍රයේ වර්ණ,රේඛා,හැඩතල වල පෙනෙන අපූර්වත්වය නිසා එය ප්‍රසාදයට පත්ව තිබේ.
"ලක්ෂ්මී උපත ඔහුගේ කෘතීන් අතර ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රසාදය දිනාගත් නිර්මාණයකි.වේදනාවෙන් ඇඹරෙමින් මතුවන ලක්ෂ්මීගේ ජීව බලය හා ලාලිත්‍යය මින් නිරූපිතය.ගුප්ත ලෙස හිරු ‍රැස් පෙනෙන අන්දමත් අරුණෝදයෙදී අඳුර දුරුවන අන්දමත් පිළිබඳ ජනප්‍රිය ඉන්දීය සංකේතයන් මින් නිරූපිතය.නිල් පැහැයෙන් රචිත මෙය දැනට කොළඹ කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශණයට තබා ඇත. එමෙන්ම ක‍ටුනායක ගුවන් තො‍ටුපලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ බිත්තියේ ඇඳ තිබෙන "උඩරට පෙරහැර"ද ඉතා අගනා නිර්මාණයකි."වලංකඩේ"නම් ඔහුගේ සිතුවමද පැහැපත්,අඳුරු,සංගත නොවන වර්ණ හා හැඩතල දැක්වීමෙන් කරන ලද අගනා නිර්මාණයකි. චිත්‍රය පුරා හැඩතල විසිරී ඇත.චිත්‍රයේ දක්වා ඇති මැටි භාණ්ඩ එහි සමබර බව ‍රැකීමට හේතු වී ඇත.
ආලේඛ්‍ය සිත්තම් කරණයේ (ප්‍රතිරූප)විශාරදයෙකුවන එතුමාගේ වර්ණාවලිය අනෙකුත් ශිල්පීන්ට වඩා වෙනස්ය.
(උදා:- අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රථම සිංහල අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන එස්.එෆ්.ද.සිල්වා මහතාගේ ආලේඛ්‍ය සිතුවම සඳහා බහුලව යොදාගෙන තිබෙන්නේ "බරන්ට් සියනා","බර්න්ට් අම්බර්","යෙලෝ ඔකර්" හා "වර්ඩියන් ග්‍රීන්" යන වර්ණයන්ය. ඔහු පවසා ඇත්තේ එසේ යොදා ගන්නේ සිංහලයන්ගේ ආලේඛ්‍යයන් වර්ණ ගැන්වීමේදී අවශ්‍ය වන්නේ ලාංකිකයන්ගේ සමේ පැහැයට ඉහත සඳහන් කළ දුඹුරු, අඳුරු කහ සහ තද කොළ පැහැයන් සුදුසු බවය.
(කොළ හා දුඹුරු මුසු කිරීමෙන් සිංහල සමේ පැහැය ලබා ගත හැකිය යන්නය.)
එතුමා පිටපත් කළ පුල්ලිගොඩ දේවරූප ඇතුළත් සිතුවම් දැනට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රදර්ශනයට තබා ඇත.මෙහිදී ඔහුගේ අරමුණ වූයේ සිසුන්ට තම ශෛලිය හුරු කරවීම නොව ඔවුන් තුළ ඇති නිර්මාණ ශීලීත්වය මතු කර නව නිර්මාණ බිහි කිරීමයි.කලාකරුවකු සතු සංයමය,නිහතමානී බව,විනීත බව,පරිත්‍යාගශීලී බව වැනි යහපත් මානුෂික ගුණාංග මොහුගේ චරිතයෙන් මනාව පිළිබිඹු වේ.
ස්ටැන්ලි අබේසිංහ නම් වූ මේ අපූර්ව මිනිසා කළ අනගි මෙහෙවර උදෙසා 1991දී කැළණි සරසවිය මගින් සම්මානයෙන් පුදන ලද්දේය.තෙලිතුඩක රිද්මය මනාව හඳුනා ගනිමින් තම මුළු දිවියම සිතුවම්කරණය උදෙසා කැප කළ මේ සුන්දර මිනිසා 1995 අප්‍රේල් මස 05 වන දින මෙලොව හැර ගියේ සිතුවම්කරණය පිළිබඳ නිවැරදි වූ බොහෝ මානයන් පිළිබඳ අපට සිතන්නට ඉඩ තබමිනි.


1 comment:

  1. https://youtu.be/nykrMxpmaRU
    මේක බලලා subscribe කරන්න .මට පොඩි සහයෝගයක් දෙන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...