සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, March 3, 2013

Renaissance (14-15 Centuries)


පුනරුදය/පුබුදු යුගය/පුනර්ජීවන යුගය
පුනරුදය යනු නැවත පිබිදීමයි.කලාව තුළ පමණක් නොව,සෑම ක්ෂේත්‍රයකම පිබිදීමක් ක්‍රි.ව.14,15 සියවස් වලදී යුරෝපයේ සිදු විය.කලාව තුළ මෙකල සිදු වූ පුනර්ජීවය නම්,පෙර පැවති ග්‍රීක ,රෝම කලාවන්ගේ විධි නියමයන් හා කෘතීන් මගින් නව ස්වභාවිකවාදී කලාවක් බිහිවීමයි.
පෙරදී පල්ලියේ ආධිපත්‍යයට යටවී ශෛලිගතව ක්‍රිස්තු චරිතය තේමාවන් සේ ගත් කලාව තාක්ෂණය හා නව ආකල්ප තුළින් වෙනස් විය.
01.ගණිත සහ මුද්‍රණ ක්‍රම දියුණු වීම
02.කඩදාසි භාවිතය වර්ධනය වීම සහ එමඟින් ක‍ටු සටහනකින් යමක් දැක්වීමට හැකිවීම
03.චිත්‍ර ශිල්පය වෙනම ශිල්පයක් ලෙස දියුණු වීම
04.එහිදී බිහිවූ කලා කෘති ශිල්පියාගේ ස්වධීනවූත්,බුද්ධිමත්වූත් ක්‍රියාවක් ලෙස පිළිගැනීම
05.ස්වභාවිකත්වයට සමීපවීම
06.පැස්ටල්,තෙල්සායම් හා කැන්වසය භාවිතයට පැමිණීම 
යනාදිය මෙකළ චිත්‍ර,මූර්ති හා කැටයම් කළාවේ වර්ධනයට බොහෝ සෙයින් හේතුවිය.පැරණි ග්‍රීක-රෝම කලාවන් ගුරුකොට ගනිමින්
නව ආකල්ප සහ ඒ මතින් බිහිවූ සමාජ සහ තාක්ෂණික වෙනස්කම් මතින් පෙර කවරදාකවත් නොවූ විරූ අයුරින් කලාවේ සිදුවූ වෙනස්කම් පුනරුද කලාවට අයත් විය්.
මෙම සියවස් තුළදී ඇතිවූ ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයයි.ලෝකයේ කිසිදු රටක මෙම සියවසේ බිහිනොවූ අන්දමේ ප්‍රතිභාපූර්ණ විශාරදයන් සංඛ්‍යාවක් ඉතාලියෙන් බිහිවිය.මෙයින් බොහෝ දෙනෙකු ගේ ප්‍රතිභා ශක්තිය එක් දෙයකට පමණක් සීමා නොවුනු අතර කලා ශිල්ප,විද්‍යාව හා වෙනත් කුසලතාවයන්ට යොමු විය.මේ යුගයේදී ඉතාලියේ පුෂ්ප පුරය නමින් හැඳින්වුනු ෆ්ලොරන්ස් නගරයේ මෙවැනි ශිල්පීහු බහුතර සංඛ්‍යාවක් සිටියහ.
මෙම යුගයේදී ධනයෙන් සහ ශිෂ්ටත්වයෙන් පර්පූර්ණ වූ පවුල් උත්සව පිළියෙල කිරීමට සහ අලංකාර කිරීමට ශිල්පීන් කැඳවනු ලැබීය.මෙම වංශවත් පවුල්වල අයගේ පිළිරූ ඇඳීමට ශිල්පීහු මෙම මන්දිර තුළ තම කාලයෙන් වැඩි කොටසක් වැය කළහ.මෙම කාලය තුළදී මූලාචාර්යවරු නව ශිල්පක්‍රම සොයා ගත් අතර ඒවා ස්වකීය ශිෂ්‍යයන්ට ඉගැන්වීමෙහි නිරතවිය.දේහ නිර්මාණය පිළිබඳ නව මෙන්ම විශේෂ දක්ෂතා මතුවිය.
පැතැලි ලක්ෂණ වෙනුවට ත්‍රිමාණ ලක්ෂණ යෙදීම ආරම්භ වුනු අතර පැරණි ග්‍රීක හා රෝම කලාකෘතීන් වල අභාසය ලබමින් ඔවුහු හරවත් ආකාරයෙන් චිත්‍ර නිර්මාණය කළහ.පුනරුද සමයෙන් පසු චිත්‍ර කලාවේ සිදුවූ සුවිශේෂී වෙනස්කම් පහත පරිදි දැක්විය හැකිය.

01.ග්‍රීක-රෝම කලාවේ සම්භාව්‍ය ලක්ෂණ යොදාගැනීම
02.ක‍ටු සටහන් පිළියෙල කරගැනීම
03.පර්යාවලෝකන රීතින් යොදාගැනීම
04.ගණිත හා මුද්‍රණ ක්‍රම යොදාගැනීම
05.කලා නිර්මාණ සඳහා ශිල්පියාට සම්පූර්ණ නිදහස ලැබීම
06.තාත්විකත්වයෙන් යුතුව නිරූපනය විය යුතු බව සැලකීම
07.තෙල් සායම් හා පැස්ටල් භාවිතය ආරම්භ කිරීම
08.විවිධ කලා ශිල්පීන් ඔහුගේ කාර්යය අනූව වෙන්කර හඳුනාගැනීම
09.චිත්‍ර කලාව ස්වාධීන කලාවන් ලෙස වර්ධනය වීම

මෙම පුනරුදය ඇරඹීමට විශේෂ හේතුව වූයේ මිනිසා විසින් නව තාක්ෂණය යොදා ගැනීමයි.මේ නිසා වෙළඳාම,නාවික ගමනාගමනය දියුණ තත්වයකට පත්වීම හේතුවෙන් ධනවත් වෙළෙන්දන්බිහිවීම සිදුවිය.ඉතාලියේ පුනරුද සමයේ ආරම්භයට හේතුවූ ප්‍රධාන සාධක වූයේ,
*ඉතාලිය ආර්ථික වශයෙන් පොහොසත්වීම
*ධනවතුන් විසින් මාලිගා ඉදිකොට ඒවා අලංකාර කිරීම
*නගර බලවතුන් සතු වීම
ෆ්ලෝරන්ස් නගරය කේන්ද්‍රකොට ගෙන ඇතිවූ මෙම පුනරුද යුගයත් සමඟ කිසිදු රටක එම සියවසේ බිහිනොවූ අන්දමේ භාවපූර්ණවූත්,ප්‍රතිභාපූර්ණවූත් කලාකරුවන් ජනිත වූ අතර එයින්ද ෆ්ලෝරන්ස් නගරය තුළම බිහිවූ පහත ශිල්පීන් වඩාත් කැපී පෙනෙන මෙන්ම අතිදක්ෂ අයවලුන් වූහ.
01.ලියනාඩෝ ඩාවින්සි 
02.මයිකල් ආන්ජිලෝ
03.රෆායල් සැන්ටි (සාන්ත්සියෝ)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...