සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, February 5, 2013

Galviharaya Hidi Pilimaya


02.ගල් විහාරයේ (උත්තරාරාමය) හිඳි බුද්ධ ප්‍රතිමාව

පොලොන්නරු යුගයට අයත් සුවිශේෂී නිර්මාණ වලින්යුත් උත්තරාරාමයෙහි කළු ගලෙහි නිර්මාණය කර ඇති පිළිම 4කි.හිඳි පිළිම 2ක් හා හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් මෙහි වැඩ සිටී.
ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි.වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්‍රාසනයක් මත වැඩ සිටී.මේ වජ්‍රාසනය විවිධ සතුන්ගේ රූප කොටා අලංකෘත කර ඇත.මෙම හිඳි පිළිමයේ හිසකේ අක්බමරු මෙන් දක්වා ඇති අතර,කුඩා වූ දෙනෙත් අඩවන් කර ඇත.ධ්‍යානයට සමවැදී සිටින ආකාරයක් දක්වා ඇත.පිළිමයේ සිවුර ඒකාංශ කර ඇත.රේඛා යුගල බැගින් සිවුරේ ‍රැළි දක්වා ඇති අතර,දෑත නිර්මාණය කර ඇත්තේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටන ආකාරයටය.

මෙම ප්‍රධාන පිළිමය පිළිමය පිළිබඳ සලකන විට ඒ පි‍ටුපස ඇති තොරණ අතිශයින් වැදගත්ය.ඉතා අලංකාර ලෙස කැටයම් කර ඇති මෙම තොරණ මෙරට ඇති කලාත්මක තොරණ අතරින් ප්‍රමුඛතාවයක් ගන්නා එකකි.පිළිමයේ ‍රැස් වළල්ලට එපිටින් ආරුක්කු ස්වභාවයෙන් මෙය නිමවා ඇති අතර,පහල කොටස මකර හිස් කැටයමින් යුක්ත වේ.ඉහළ කොටස අර්ධ කවාකාර වන අතර එහි වෘර්තාකාර ලෙස මල් දක්වා ඇත.තවද මෙම කවාකාර වටයට දෙපැත්තෙන් කුඩා බුදු පිළිම සහිත කුටි දක්වා ඇත.මෙම ලාංජනය ජපානයේ ප්‍රතිමා වලද දක්වා ඇත.බලයෙන් වැඩි මහේශාක්‍ය බුදුවරු තවත් බුදු වරුන් පිරිවරා වැඩ සිටිති.එම ආකාරයට නිර්මාණය වූ ගල් විහාර හිඳි පිළිමය පොලොන්නරු යුගයේ මහායාන බලපෑම් ඇතිව තිබූ කාලයේ දී නිමවා ඇතැයි සිතිය හැක.

පිහිටි කළුගල් පර්වතයක නෙළා ඇති ගල් විහාර පිළිම අතර,මෙම පිළිමයට සුවිශේෂී තත්වයක් හිමිවන අතර,තන්තිරිමලේ  රජමහා විහාරයේද මේ හැඩයේම මේ ආකාරයටම නිර්මාණය කර ඇති හිඳි පිළිමයක් ඇත.ගල් විහාර ශිල්පියාම එය කලාදැයි සිතෙන තරමට එම පිළිමය ගල් විහාරයේ හිඳි පිළිමයට සමානය.ඒ කෙසේ වුවත් ගල් විහාරයේ හිඳි පිළිමය ලක්දිව ප්‍රතිමා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා අතරම ප්‍රතිමා ශිල්පියා සතුව තිබූ නිර්මාණශීලී කුසලතාව පිළිඹිබු කරයි. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...