සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, January 13, 2013

Ivan Peries (1921 - 1988)



අයිවන් පීරිස් (1921 - 1988)
1921 ජූලි මස 31වන දින දෙහිවලදී උපත ලද අයිවන් පීරිස් නම් ප්‍රවීණ,ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියාගේ මවුපියන් වූයේ වෛද්‍ය ජේම්ස් පීරිස් නැතහොත් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වැඩිමහල් සොහොයුරායි.මොහුගේ ප්‍රථම ගුරුවරයා වන්නේ ඩේවිඩ් පේන්ටර් නම් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා වන අතර පසුව පේන්ටර් විදේශ ගත වූවාට පසු සුප්‍රකට චිත්‍ර ශිල්පී හැරී පීරිස් යටතේ චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත.හැරී පීරිස් මහතා තරුණ අයිවන් ගේ නැගීගෙන එන නිර්මාණශීලී කුසලතාවය මැනැවින් හඳුනාගත් අතර චිත්‍ර ශිල්පියෙකු ලෙස කළ එලි බැසීමට පසුකාලීනව ඔහුගෙන් ලබාගත් දැනුම මහඟු ‍තෝතැන්නක් වී ඇත.
43කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වන අයිවන් පීරිස් 1946 වසරේ දී සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ"ඇන්ග්ලෝ ෆෙන්ච්"කලා මධ්‍යස්ථානය වෙත යොමු විය.පියවරෙන් පියවර ගුරු ශිල්පීන්ගෙන් ලත් දැනුම තුළින් ඔහුටම ස්වාධීන වූ කලා ආරක් ගොඩනගාගත් මොහු සිය අධ්‍යයන කටයුතු නිමවීමෙන් අනතුරුව නැවත මවු බිමට පැමිණියේ සිය ඉංග්‍රීසි ජාතික බිරිඳ වන "වෙරෝනිකා" සහ දරුවන් සිවු දෙනාද සමඟ වන අතර 1953දී යළි එංගලන්තය බලා පිටත්වන ලදී.
43කණ්ඩායම සමඟ එක්ව ලංකාවේ මෙන්ම යුරෝපීය රටවල ද චිත්‍ර ප්‍රදර්ශණ පවත්වමින් අන්තර්ජාතික වශයෙන් ද කීර්තියක් අත් කර ගත්තේය.තමාටම ආවේණික වූ සුවිශේෂී චිත්‍ර කලා ආරක් ගොඩනගාගත් අයිවන් පීරිස් ඉමහත් ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ ආලේඛ්‍ය (Abstract) චිත්‍ර ශිල්පියෙකු වශයෙන් මෙන්ම භූමි දර්ශණ ඇඳීමේ පරිපූර්ණ දක්ෂතාවක් දැක්වූ ශිල්පියෙකු වශයෙනි.අයිවන් පීරිස් ගේ සිතුවම් වල වැඩිහරියක් දක්නට ඇත්තේ මුහුද ආශ්‍රිත පරිසරය පසුබිම් කොටගත් භූමි දර්ශන වන අතර සීමිත වර්ණ මාලාවක් භාවිතාකොට චාම් වූ නව හැඩතල රටාවන් තුළින් ඔහු තම සිතුවම් කලාව සුවිශේෂී තත්වයකට ගෙනගියේය.නග්න රූප ඇඳීමටද කැමැත්තක් දක්වා ඇති මොහුගේ සිතුවම් වල තද දුඹුරු පැහැය සහ නිල් වර්ණයේ ප්‍රභේද වැඩි වශයෙන් දැකිය හැකිය.මාළු ඔරු,ධීවර පැල්පත්,ධීවර ජන ජීවිතය හා මුහුඳු වෙරළේ ආලෝකය තුලින් ඉතා චාම් හැඩතල හා සීමිත වර්ණ සංඛ්‍යාවකින් කැන්වසය මත සිය තෙලිතුඩ හැසිරවීමට අයිවන් පීරිස් සිත්තරා ඉමහත් රුචිකත්වයක් දක්වා ඇති බව ඔහුගේ සිතුවම් විමර්ශණය කිරීමෙන් අපට පෙනී යයි.
ඇසට පෙනෙන භූමි දර්ශණයක් ඒ අයුරින්ම ඉදිරිපත් නොකොට තම මනෝභාවයන් හා චාම් හැඩතල මෙන්ම වර්ණපදාස උපයෝගී කොට ගනිමින් නිර්මාණශීලීව ඇඳීමට මොහුට තිබුණේ අපූර්ව වූ හැකියාවකි.නිහඬ බව මෙන්ම හුදෙකලා බවත් වර්ණ හා හැඩතලයන් මඟින් නිරූපණය කිරීමට අයිවන් පීරිස් ප්‍රභල උත්සාහයක යෙදී ඇති බව ඔහුගේ සිතුවම් තුලින් මනාව පැහැදිලි වේ.සරලව නිර්මාණය කලද ඔහුගේ මිනිස් රූ හා වස්තූන් නැවුම් වූ චාම් බවකින් යුක්ත වේ.මෙවැනි ආකාරයට චිත්‍ර ශිල්පියෙකුට තම සිතුවම් ගොඩ නැගීමට හැකිවන්නේ සිතෙහි හා මනසෙහි ඇ‍ඳෙන සිතුවිලිවල නිර්මාණත්මක බව හා අවංකබව හේතුවෙනි.සිහින් මෙන්ම උස් වූ හා අඳුරාලෝකයේ චලන සෙවනැලි අයිවන් ගේ බොහෝ සිතුවම් වල දැකිය හැකිය.
මුළු ජීවිත කාලයම චිත්‍ර කලාවට කැප කල අයිවන් පීරිස් එහි යම් සත්‍යයක් අවබෝධ කර ගැනීම තුළින් සිය චිත්‍ර කලා ශෛලිය හදා වඩා ගත්තේය.ඒ සඳහා දැඩි වෙහෙසක් මෙන්ම කාලයද කැප කලේය.ඔහුගේ නග්න රූප රිද්මයනුකූලය.එය නුවර යුගයේ චිත්‍ර ශිල්ප ධර්මතා උපයෝගී කර ගැනීමේ ප්‍රතිඵලයකි.හැම වස්තුවකම හා මිනිස් රූපයකම හැඩයේ ඇති සරල බව, වර්ණවල සීමිත බව මෙන්ම වර්ණ භාවිතයේ විනීත බව (බොහෝ විට එකම වර්ණයේ ප්‍රභේද භාවිතය) මෙන්ම යම් වස්තුවක හෝ ද්‍රව්‍යයක පවතින මූලික අදහස මූලික චරිත ලක්ෂණ විනාශ නොවන අයුරින් සිදුකිරීමට උත්සාහ කිරීම වැනි දේ ඔහු චිත්‍ර කලාව ගැඹුරටම හැදාරා ඇතිබව ප්‍රකාශ කරයි.
අයිවන් පීරිස් සිත්තරාණන් විදේශ ගත චිත්‍ර ශිල්පීය කටයුතුවල යෙදුනද සිය චිත්‍රවලට වස්තු කරගත්තේ ලංකාවේ භූමි දර්ශණයන්ය.ලංකාවේ ජන ජීවිතය ය.ලාංකීය අත්දැකීම් ය.මෙතුමාගේ චිත්‍ර අතර සම්ප්‍රාප්තිය,සඳ එළිය,මුහුඳු ගොස් පෙරලා පැමිණීම,පොල්ගස් වැනි සිත්තම් උසස් නිර්මාණ ලෙස විචාරක ප්‍රසාදයට ලක්ව ඇත.
කෙසේ වුවත් දෙස් විදෙස් කලා විචාරකයන්ගේ විචාරයන්ගෙන් හැඟී යන්නේ අයිවන් පීරිස් ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රතිරූපය ලෝකේ චිත්‍ර කලාව තුළ ගොඩනඟා ගත් ආකාරයයි.ඔහුගේ කලා කෘති ගැන ජෝන් බර්ජන්,විලියම් ග්‍රේහැම්,ජොර්ජ් බුවර් නැමැති කලා විචාරකයන් ඉතා උසස් අයුරින් විචාර කර ඇති බව පෙනී යයි.
"ආභාෂයන් ඵලදායී ලෙස උකහාගත් අයිවන් පීරිස් තමාට ආවේණික වූ ප්‍රාණවත් පුද්ගලික ශෛලියක් ගොඩනගාගෙන ඇත"
(මැන්චෙස්ටර් ගාඩියන් පුවත්පත)
"අයිවන් පීරිස් යථාර්ථය හෙළි කරන තරමට කලාව නිදහස් බව සිහි කරන චිත්‍ර ශිල්පියෙකි"
(නිව් ස්ටේට්මන් ඇන්ඩ් නේෂන් පුවත්පත"
"වර්ණ වින්දනයන්ගේ ගීත වැනි ඔහුගේ චිත්‍රවල අනුරාගී බව බුද්ධිය විසින් දමනය කර ඇත"
(මහාචාර්ය සේනක බංඩාර)
කෙසේ වෙතත් ලාංකීය චිත්‍රකලාව ජාත්‍යන්තරයට ගෙනගිය මේ අපූර්ව වූ අයිවන් පීරිස් සිත්තරාගේ චිත්‍ර ශ්‍රී ලංකාව,කැනඩාව,බ්‍රිතාන්‍යය,ඇමරිකා එක්සත් ජනපදය,ඉතාලිය,ප්‍රංශය,ඉන්දියාව ආදී රටවල ජාතික හා පෞද්ගලික කලාගාර ‍රැසකට එක් කරමින් 1988 පෙබරවාරි 13 දින ලන්ඩන් හිදී අප අතරින් සදහටම සමුගත්තේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...