සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, April 21, 2013

ගිරි අරණේ කන්‍යා මවුතුමිය(Virgin of the Rock)


Virgin of the Rocks (Leonado Da Vinci-1483-1486)(Louvre at Paris)
ඩාවින්චිගේ සිතුවම් අතර මෙම සිතුවමද ඔහුගේ විශිෂ්ට කලා කෘතියකි.අල්තාර පනේලයක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතුවම අඩි  6,1/2*4 ප්‍රමාණයෙන් යුක්ත වූ තෙල් සායම් සිතුවමකි.මේ නමින් ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් දෙකක් වේ.දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන මෙම සිතුවම ඔහුගේ මුල් ශෛලියෙන් ඇඳ ඇති බව පෙනේ."කෙනත් ක්ලාක්"(Keneth Clark)නමැති කලා විචාරකයා පවසන්නේ ඩාවින්චි "මිලාන්"නගරයට පැමිණෙන විට ඔහුගේ දක්ෂතාවය පෙන්වීමේ නිදර්ශනයක් ලෙස මෙම කෘතිය ‍රැගෙන ආ බවයි.දැනට එංගලන්තයේ ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය වන්නේ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද දෙවන කෘතියයි.

මෙම සිතුවම පිළිබඳව බොහෝ දේ ලියැවී ඇත."මිලාන්" නගරයේ පිහිටි සාන්ත ෆ්‍රැන්සිස්කෝ ග්‍රාන්ඩ්" (St: Francisco Grand)නම් දේවස්ථානයේ පනේලයක මෙම සිතුවම ඇඳ ඇත.1483 අප්‍රේල් 25 වන දින මෙය අඳින්නට ආරම්භ කරන්නට ඇතැයි සැළකේ.නමුත් පසුව ගෙවීම් මත වූ ආරවුලක් නිසා වර්ෂ 22ක් මෙම සිතුවම නිර්මාණය කිරීම නතර වී තිබී ඇත.නැවත වර්ෂ 1506දී ඇති කර ගත් නව ගිවිසුමක් අනුව චිත්‍ර ඇඳීමේ කාර්යය නැවත ආරම්භ වී ඇතැයි සැළකේ.ඉන්පසු මෙම සිතුවම නිර්මාණය කිරීම සඳහා වසර දෙකක කාලයක් ගතවී ඇත.
පසුකාලයේදී පනේලයේ වූ චිත්‍රය කැන්වසයට ගැනීමේදී යම් ප්‍රමාණයක් හානි වී ඇතැයි පැවසේ.ඒ මත වාර්නිෂ් ආලේප කිරීමෙන් හා එය මත දූවිලි බැඳීම නිසා චිත්‍රය අඳුරු වී ඇති බව විචාරකයෝ පවසති.එබැවින් ඩාවින්චි අඳුරු වර්ණ යොදා ගත් බවක් නිශ්චිතවම කිව නොහැක.
Virgin of the Rocks 2nd Image(1495-1508)(London at UK)
කන්‍යා මරිය තුමිය හා සුර දූතිකාව ඉදිරියේ ළදරු සාන්ත ජෝන්, ජේසු බිළිඳා වෙත ආදර ගෞරව දක්වන ආකාරය මෙනිරූපණයයින් නිරූපණය වේ.මෙම තේමාව නිරූපණය කළ පළමු ශිල්පියා ඩාවින්චි බවද පැවසේ.මෙම සිතුවමේ මරියතුමියගේ දකුණත සාන්ත ජෝන්ගේ උරහිස දක්වා ක්‍රමානුකූලව ගමන්කර ඇත.එතුමියගේ හැඟීම්බර මුහුණ, අලංකාර බෙල්ල හා කෙස් කළඹ එම රිද්මය අනුව ඒ දෙසට නැමී ඇත.මරියතුමියගේ වම් අත හා ඇඟිලි දේවදූතයා ගේ දකුණු අත හා ඇඟිලිතුඩු මෙන් කිතුතුමාගේ හිසට ඉහළින් දිගු කොට ඇත.මෙම ඉරියව්වෙන් කිතුතුමාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කිරීමට උත්සාහ දරා ඇත.ළදරු කිතුතුමන්ගේ හැඟිම්බර මුහුණ හා දික් කළ දකුණු අතින් අනාගත ශාස්තෘවරයෙක් ආශිර්වාද කරන බව සඳහන් වේ.ළදරු සාන්ත ජෝන් තුමා මරියතුමියගේ කබායට තුරුළු වී ළදරු කිතුතුමාට ගෞරව කරන ආකාරය පෙන්වා ඇත.සුරදූතිකාව ගේ මුහුණින් ප්‍රකාශ වන්නේ මෙම අභිරහස් සිදුවීම දෙසට නෙත් යොමු කරන ආකාරයකි. 
Rock Background(Virgin of the Rocks)
චිත්‍රයේ පසුබිම ගල්පර සහිත වූ කඳුකර දර්ශනයකි.එය චිත්‍රයේ සම්පිණ්ඩනය සදහා දායක වී ඇත.එය ක‍තෝලික දේවස්ථානයක ස්වරූපයක් උසුලයි.ශුද්ධ වූ පවුල ඊජිප්තුවට පලා යාමේදී ගල් ගුහාවක ලැගුම් ගත් බව බයිබලයේ සඳහන්ය.පෙර බිමෙහි කුඩා පොකුණකි.සැළකිල්ලෙන් ‍තෝරා බේරා අඳින ලද පැළෑටි මනා නිමාවකින් සිතුවම් කර ඇත.විවිධ ඉරියවු හා අංගචලනයන් සිතුවම සඳහා යොදා ගෙන ඇත.
Zoom Image of Angel(Virgin of the Rocks)
මෙහි අදුරු වර්ණ ප්‍රභේද සහිත වූ පසුබිම මත මානව රූපයන්හි ශරීර පැහැය පමණක් කැපී පෙනෙන ලෙසින් මතු කර දැක්වීම මෙහි වර්ණාලේපයේ ඇති විශේෂ ලක්ෂණයකි.රූපවල වැඩි ප්‍රමාණයක් අඳුරු පරිසරයට මුහු වී යන අයුරින් අපැහැදිළි ලෙස දක්වා ඇත. මානව රූපයේ බාහිර සීමාවන් වර්ණ හා සියුම් ලෙස සංයෝග වීම හේතු කොට ගෙන හැඩයන්හි වටකුරු බව දැක්වෙන අතර බාහිර රේඛාවන් ආසන්නයේ කිසියම් අපැහැදිළි බවක් ඇති කරවීම ඩාවින්චිගේ වර්ණාලේප ක්‍රමයේ විශේෂ ලක්ෂණයකි.
Virgin of the Rocks At London National Gallery
Virgin of the Rocks at Louvre, Paris

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...