සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Friday, April 5, 2013

The Last Supper (1495-1498)


අවසන් රාත්‍රී භෝජනය

ඩාවින්චි විසින් ඉතාලියේ මිලාන් නගරයේ සාන්ත මරියා ඩෙලා ග්‍රෙසී'හි ඩොමිනිකානු කන්‍යාරාමයක භෝජනාගාරයේ බිත්තියක අඳින ලද මෙම සිතුවම ලොව ශ්‍රේෂ්ඨ කෘතීන් අතරට එක්වී ඇති සුවිශේෂී කලා නිර්මාණයකි.මිලාන් නගරයේ විසූ "ලුඩෝවිකෝ ඉන් මොරෝ " නම් ආදිපාද වරයාගේ ඇරයුම පරිදි නිර්මාණය කිරීම අරඹන ලද මෙම කෘතිය නිම කිරීමට ඩාවින්චිට වසර තුනක් පමණ ගතවී ඇති බව සඳහන්ය.


ඩාවින්චි මෙම සිතුවම නිර්මාණය කොට ඇත්තේ "මොන්ටොපානෝ"නමැති ශිල්පියා විසින් බිත්තිය මත අඳින ලද අසාර්ථක කෘතියක් මත බව "කෙනත් ක්ලාක්" නම් කලා විචාරකයා පවසයි."අන්තිම රාත්‍රී භෝජනය" සිතුවමට අවශ්‍ය චරිත සොයා ගැනීම ඩාවින්චිට විශාල අභියෝගයක් වී තිබේ.එහිදී විශාල පරිශ්‍රමයක් දරා ඇති බව සිතුවම තුලින් මනාව පැහැදිළි වේ
සිතුවමේ ක්‍රිස්තුස් වහන්සේගේ රුව ඇඳීමේදී ශිල්පියා ‍තෝරාගෙන ඇත්තේ ඉතාලි රදළ පවුලකට අයත් තිස්විය ඉක්මවූවෙකි.ජුදාස් ගේ රුව සඳහා සුදුසු පුද්ගලයෙකු සොයාගැනීම සඳහා මිලාන් නගරයේ මාස ගණනාවක් පුරා ඇවිදීමට සිදු වී ඇති බව ද සඳහන්ය.සිතුවම නිර්මාණය කරගෙන යන අවස්ථාවේදී කිසිවෙකුට එම ශාලාවට ඇතුළු වීමට ඉඩක් ලැබී නැත."ඩාවින්චි උදෑසනම අට්ටාලයට නැඟ අඳුර වැටෙන තුරුම ස්වකීය කලාකෘතිය නිමා කිරීමෙහි නියැළී සිටියේය" යනුවෙන් මෙම යුගයේ ජීවත් වූ "මැන්ඩෙලා" නැමති නවකතාකරු පවසා ඇත.ආහාර පානාදිය ගැන පවා නොතැකූ මොහු තෙලිතුඩ ඉවත තබා ඇත්තේ ඉතා කලාතුරකිනි.එයට පසු දින තුනක් හෝ හතරක් චිත්‍රය නො ඇඳ එතැනට පැමිණ කෘතියේ එක් එක් රූප ගැන විමසිලිමත්ව බලමින් එහි ‍රැඳී සිට ඇත.සමහර දිනවල ශිල්පියා හදිසියේම අට්ටාලයට නැඟ චිත්‍රයේ එක් රූපයක බුරුසු පහරවල්කිහිපයක් ගසා වහාම එතැනින් ඉවත ගොස් ඇත.
ජේසු තුමන් ගේ මුහුණේ තිබූ ශාන්ත ස්වභාවය
"අන්තිම රාත්‍රී භෝජනය" සිතුවමින් දැක්වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් දොළොස් දෙනා සමඟ එතුමා ස්වර්ගස්ථ වීමට පෙර දින අන්තිම රාත්‍රී භෝජනය ගනු ලබන ආකාරයයි.චිත්‍රයේ මධ්‍යයේ ක්‍රිස්තුස් වහන්සේ වාඩිවී සිටින අතර උන්වහන්සේ දෙපස එක් පැත්තක හය දෙනා බැගින් ශ්‍රාවක පිරිස අසුන් ගෙන සිටියි.ආහාර ගෙන අවසන් වීමට පෙර ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවක පිරිස අමතා "නුඹලාගෙන් එක් අයෙකු අද දින මා සතුරන්ට පාවා දෙන්නේය."යනුවෙන් කී විට ඔවුන් තුළ හට ගත් කලබලකාරී ස්වභාවය ඔවුන්ගේ මුහුණු වලින් මනාව නිරූපණය කොට ඇත.මෙම වදන ඇසීමත් සමඟම් ශ්‍රාවකයන් දොළොස් දෙනා එක් කණ්ඩායමකට තිදෙනා බැගින් එක්වී සාකච්ඡාවෙහි යෙදී සිටින ආකාරයද පැහැදිළිව දක්වා ඇත.ශ්‍රාවකයන්ගේ කලබලකාරී ස්වරූපත්,ක්‍රිස්තුස් වහන්සේගේ තැන්පත් බව හා ශාන්ත ගුණයත් මනාව ගෙනහැර පෑමට ශිල්පියා ගෙන ඇති වෑයම ඉතා සාර්ථකය.
ඔවුන්ගේ මුහුණුවල තිබූ කලබලකාරී ස්වභාවය
ඔවුන්ගේ මුහුණුවල තිබූ කලබලකාරී ස්වභාවය
ඔවුන්ගේ මුහුණුවල තිබූ කලබලකාරී ස්වභාවය
ඩාවින්චිගේ මෙම සිතුවම නිර්මාණය කිරීමට පෙර අඳින ලද තවත් අන්තිම රාත්‍රී භෝජන සිතුවමක් වේ.එනම් "ගිර්ලාන්ඩායෝ"" නමැති ශිල්පියා විසින් අඳින ලද සිතුවමයි.
The Last Supper by Ghirlandaio
එම සිතුවමේ ක්‍රිස්තුස් වහන්සේ රිදී විස්සකට පාවා දුන් ජුදාස් නම් පුද්ගලයා මේසයේ ඉදිරියෙන් තනිව සිටින ලෙස යොදා ඇති අතර අනෙක් ශ්‍රාවකයන් එකොළොස් දෙනා එක පේළියකට මේසයේ එහ පැත්තේ වාඩිවී සිටින ආකාරය දැක්වේ.සාන්ත ජෝන් වාඩි ගෙන සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ ලඟින්මය.
ක්‍රිස්තුස් වහන්සේ දකුණත ඔසවා කතා කරන ආකාරය මෙහි නිරූපණය කොට ඇත.ශ්‍රාවකයන් දුකින් බරව සිටින ආකාරයෙන් නිරූපණය කොට ඇත.
තම සිතුවම නිර්මාණය කිරීමේදී ඩාවින්චි "ගිර්ලාන්ඩායෝ"ගේ සිතුවම් ශෛලියට වඩා බෙහෙවින් වෙනස් ශෛලියක් අනුගමනය කොට ඇත.ඔහු අංශ දෙකකින් පාරම්පරික ක්‍රමය බිඳ දමා ඇත.එනම් ඔහු ජුදාස් වෙන් කොට නොතබා අනෙක් ශ්‍රාවකයන් සමඟ එකට අසුන් ගෙන සිටින ආකාරයට නිරූපණය කිරීමෙන් සහ සාන්ත ජෝන් ක්‍රිස්තුස් වහන්සේගේ දෙපස තැබීමෙනි.එසේ කළේ පසුපස ඇති ගෘහ නිර්මාණාත්මක සැලැස්මට අදාළ වන පරිදිය.
චිත්‍රයේ කැපී පෙනෙන ප්‍රධානතම පුද්ගලයා වන්නේ ක්‍රිස්තුස් වහන්සේය.තවදුරටත් තම පරමාර්ථය ඉ‍ටු කර ගැනීමට ඩාවින්චි පසුබිම උපයෝගී කරගන්නා වාස්තු විද්‍යාත්මක සැලැස්මද චිත්‍රයට ගෙන දෙන්නේ ආලෝකයකි.
"ගිර්ලාන්ඩායෝ"ගේ අන්තිම රාත්‍රී භෝජනය සිතුවම මධ්‍යයෙහි කැපී පෙනෙන්නේ ප්‍රධාන චරිතය නොව ගොඩනැගිල්ල මැද ඇති ස්ථම්භයයි.චිත්‍රයේ පසුබිමේ ඇති ආරුක්කු විශාල ලෙස ඇඳ මානව රූප කුඩා කොට තිබීම "ගිර්ලාන්ඩායෝගේ සිතුවමේ එක්තරා දුර්වලතාවයකි.තවද එහි දක්වා ඇති මේසයේ සෑම කුඩා කොටසකටම ඔහු අනවශ්‍ය පරිදි අවධානය යොමු කොට ඇත.එක් එක් පුද්ගලයා වෙනුවෙන් මේසය මත තබන ලද පළතුරු ගෙඩි ප්‍රමාණයද ගණන් පදම් ඇතිව තබා ඇත.
එහෙත් ඩාවින්චි තම සිතුවම සඳහා යොදා ගෙන ඇත්තේ මෙම අවස්ථාව මනාව නිරූපණය කිරීමට අත්‍යාවශ්‍යම දේ පමණි.
මෙම යුගයේදීම "ටින්ටොරෙට්ටෝ"නමැති ශිල්පියාද අන්තිම රාත්‍රී භෝජන සිතුවමක් නිර්මාණය කොට ඇත.
The Last Supper by Tintoretto
එම සිතුවම ඉහත කී සිතුවම් දෙකටම වඩා වෙනස්ය.එම සිතුවමේ සම්පිණ්ඩනය හා ආලෝකය යොදා ගෙන ඇත්තේ ඩාවින්චිගේ ශිල්ප ක්‍රමය අනුව නොවේ.
ඩාවින්චිගේ අන්තිම රාත්‍රී භෝජන සිතුවම නිම කොට සුළු කලකට පසු බිත්තියේ තෙත ගතිය ඇතිවීම නිසා චිත්‍රයේ පතුරු ගැලවී යන්නට පටන් ගෙන ඇත."ෆ්‍රෙස්කෝ" සම්ප්‍රදාය අනුව නිම කළා නම් මෙම කෘතිය ඉතා සාර්ථක වන්නට ඇතැයි කලා විචාරකයෝ පවසති.චිත්‍රය ඇඳීමේදී ශිල්පියා විසින් ත් තොරතුරු අනුවැල් හා වාර්නිෂ් පමණක් යොදා ගෙන ඇතැයි ඇතැම්හු පවසති."පැන්ටෝනියෝ
බියට්‍රිස්" පවසන අන්දමට මෙම අනර්ඝ කෘතියේ සායම් දුර්වල වීමට පටන් ගෙන ඇත්තේ මෙම සිතුවම නිමකොට විසි වසරකට පසුවය.චිත්‍රයේ වර්ණ දුර්වල වී තිබූ බව 1556 දී වසාරි නමැති කලා විචාරකයා ද ප්‍රකාශ කළේය.
ඉහත සඳහන් තොරතුරු අනුව අපට දක්නට ලැබෙන්නේ මෙම සිතුවම වෙනත් ශිල්පීන් විසින් වරින් වර ප්‍රතිශංස්කරණය කරන ලද චිත්‍රයක් බවය.18 වන සියවස තුළ පමණක් මෙම මහඟු කලා කෘතිය සිව් වතාවක් පිළිසකර කොට ඇත.එයට පෙරද මෙම සිතුවම කීපවතාවක්ම පිළිසකර කොට ඇත.
"අන්තිම රාත්‍රී භෝජනය" සිතුවම නිම කළාට පසුව ඩාවින්චිගේ ගෝලයන් විසින් එය පිටපත් කොට ගන්නා ලදි.එවැනි පිටපත් දෙකක් දැනටද පවතින බව විචාරකයන් පවසයි. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...