සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, April 30, 2013

Egyptian Art (B.C 4500-1090)-(මිසර කලාව)


නැගෙනහිර අප්‍රිකාව හරහා ගලායන නයිල් නදී නිම්නය පාදක කර ගනිමින් බිහිවූ ඊජිප්තු (මිසර) ශිෂ්ටාචාරය ලොව මානව ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළේය.ලෝකයේ පළමු ශිෂ්ටාචාරයක් වන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය ද බිහිවී ඇත්තේ ඒ ආසන්න ප්‍රදේශයකය.මේ මහා ශිෂ්ටාචාරයන් දෙකම එකිනෙකට ළංව පිහිටා තිබූ අතර එකිනෙක අතර දුර කි.මී.960ක් පමණ විය.මෙකී පිහිටීම හේතුවෙන් මෙම ශිෂ්ටාචාර අතර සබඳතාවයන් පවතින්නට ඇති නමුත් භූගෝලීය සාධක හා පිහිටීම පදනම් කර ගනිමින් ශිෂ්ටාචාර දෙකෙහි ලක්ෂණ එකිනෙකට බෙහෙවින් වෙනස් විය.

ඉතියෝපියාවෙන් ආරම්භ වන සුදු නයිල් නදිය සහ ටාන් විල ඔස්සේ එන නිල් නයිල් නදිය ත් අතරමඟදී එක් වන "ඇට්බරා" නදියෙහිත් එකතුවෙන් සෑදෙන ලොව දිගම ගංඟාව වන නයිල් නදියෙන් ලද ත්‍යාගය ලෙස ඊජිප්තුව සැළකිය හැකි බව ඉතිහාසයේ පියා වශයෙන් සැළකෙන "හෙරඩෝටස්" පවසයි.මේ මහා ගංඟාව අප්‍රිකාව මධ්‍යයේ සිට සැතපුම් 4000ක් දුර ගෙවා මධ්‍යධරණී මුහුදට ගලා බසින ඇය සිය අවසාන සැතපුම් 600ක දුර ගමන් කරනු ලබන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් බිම හරහාය.
ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල්ම ජනාවසකරණයටත් කෘෂිකර්මයටත් බෙහෙවින් බලපා තිබෙන්නේ නයිල් නදී ජලය නිරන්තරයෙන් උතුරා යාමෙන් පෝෂණය වූ ගංඟා ඉවුරු ප්‍රදේශයන්හි පැවති සාරවත් භූමි කොටස් ය.ගංඟාව අස්වාන් ප්‍රදේශයේ සිට ඩෙල්ටාව දක්වා වූ දුර ප්‍රමාණය කාන්තාරයේ ඇති ගල් සහිත බිම් තලාවේ ජල ඛාදනය නිසා ඇතිවූ නිම්න තුළින් ගමන් කරන අතර ඇතැම් අවස්ථාවල එහි පළල සැතපුම් 12ක් තරම් විශාල වන බව සඳහන්ය.පහළ ඊජිප්තුව වශයෙන් සැළකෙන නයිල් ඩෙල්ටාව සහිත සැතපුම් 60ක් තරම් දික්වූ ප්‍රදේශය, වර්ෂයේ ජූනි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලවලදී පිටාර ගලන නයිල් නදියේරොන් මඩ වලින් සැදුණ සාරවත්ම ඩෙල්ටා ප්‍රදේශය වේ.එහි පවතින සුවිශේෂී සාධකය වන්නේ ගොවිතැනට වඩාත් හිතැති "ඇමර්සන්" සාරවත් පස සහ ඊටම සරිලන වියළි කාළගුණයයි.නිම්නයේ පවතින මැටි ග්‍රැනයිට් පාෂාණ, වැලි,ගල්,හුණු ගල් ආදිය ශිෂ්ටාචාරයේ ගොඩනැංවීම කෙරෙහි වඩාත් ප්‍රයෝජනවත් වී තිබෙන බව පෙනෙන්නට තිබේ.නයිල් නිම්නය වටා දක්නට ලැබෙන්නේ මුහුදු සහ කාන්තාර ප්‍රදේශයන්ය.පුරාණයේ මෙකී කාන්තාර සහිත ප්‍රදේශය පුරා විශාල විල් නිර්මාණය වී තිබූ බව පැහැදිළිය.එසේම විශාල ප්‍රදේශයක් පුරා පැතිරීගිය මේ ශිෂ්ටාචාරයේ ඉහළ සහ පහළ ප්‍රදේශවල පවතින එකිනෙකට වෙනස් වූ සංස්කෘතික ලක්ෂණ පවසන්නේ එහි භූගෝලීය පිහිටීමේ පැවති වෙනස්කම බව පැහැදිලිය.
පුරා අවුරුදු3000ක් පමණ අඛන්ඩව පැවැති මිසර ශිෂ්ටාචාරය  නයිල් නිම්න ශිෂ්ටාචාරය වශයෙන්ද හඳුන්වනු ලැබේ.මෙම ශිෂ්ටාචාරය ක්‍රි.පූ 4500දී පමණ ආරම්භ වූයේ යැයි විශ්වාස කෙරේ.ක්‍රි.පූ. 1090දී පමණ මිසර අධිරාජ්‍යය බිඳ වැ‍ටුණි.මෙම කාලසීමාව තුළ මිසර වැසියන් නිපදවූ කලාකෘති රාශියක් අද දක්වාත් මිසරයේ හා ලොව විවිධ කෞතුකාගාර තුළ තැන්පත් වී ඇත.නයිල් නිම්න ශිෂ්ටාචාරය ප්‍රධාන වශයෙන් යුග3කට බෙදා දැක්විය හැක.
01.පුරාණ රාජධානි යුගය
02.මධ්‍ය රාජධානි යුගය
03.නව රාජධානි යුගය
මෙකී යුගයන් සම්බන්දයෙන් වෙන වෙනම ඉදිරි ලිපි වලදී සාකච්ජා කිරීමට බලාපොරොත්තුවේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...