සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, August 12, 2012

M.Sarlis


ඇම්.සාර්ලිස්

 ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාම විහාරයේ සිතුවම් ඇඳි දිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන රිචඩ් හෙන්ඩ්‍රිකස් සමඟ එම කටයුතුවල නිරතවීමේ භාග්‍යය 1909දී සාර්ලිස්ට හිමි විය. බටහිර තාත්වික සම්ප්‍රදායයට චිත්‍ර ඇඳීමට පුරුදු වී සිටි හෙන්ඩ්‍රිකස් ගේ ආභාසය ලැබීමෙන් පසු සාර්ලිස්ද එම ශෛලිය අනුගමනය කරන්නෙකු බවට පත් විය.
ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාම විහාරයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සාර්ලිස් විසින් නිම කරන ලද්දකි.එහි නිර්මාණ කටයුතු සිදු කරමින් යන අතරතුරදී කඩොල්ගල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේගේ ගෝලයෙකු යටතේ මාළිගාකන්ද විහාරයේ සිතුවම් කිරීම ඇරඹීය.චිත්‍ර ශිල්පයේ සිය නිපුණතාවය මොනවට පැහැදිළිකරමින් එහි   නිර්මාණ කටයුතු වසර 9කට පසු අවසන් කරන ලදී.
මෙම යුගයේ බොහෝ සිංහල නිවෙස් වල බිත්ති සැරසිලි වශයෙන් යොදා ගන්නා ලද්දේ වික්ටෝරියා රජ පවුලේ පින්තූර හෝ බටහිර නිරූපිකාවන්ගේ පින්තූරයි. එසේම ක්‍රිස්තියානි නිවෙස්වල එම් ආගම හා සම්බන්ධ චිත්‍ර තිබුණද බෞද්ධ නිවෙසකට සුදුසු එවැනි සැරසිලි හෝ චිත්‍ර දක්නට නොලැබීමේ අඩුව පිරවීම වෙනුවෙන් සිය නිර්මාණ කුසලතාව භාවිතා කර චිත්‍ර ශිල්පයේ නව මානයන් සොයා ගිය සාර්ලිස් ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද සිතුවම් කිහිපයක් එවකට සිටි සිංහල බෞද්ධ ව්‍යාපරිකයෙකු වූ ඩී.විලියම් පේද්‍රිස් මහතා වෙත ඉදිරිපත් කරන ලදි.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ දක්වා ප්‍රතාපවත් අයුරින් සිංහල නිවෙස් තුළ රජ කළ රාජකීය යුවළ වෙනුවට බොදු සිරිතෙන් අලංකෘත වූ සිතුවම් දක්නට ලැබුණි.
Sivali Maha Thero
මෙම චිත්‍ර සමූහය තුළින් සාර්ලිස් පොදු ජනතාව වෙත වඩාත් සමීප වූ අතර ඔහු නිර්මාණය කළ සීවලී මහ රහතන් වහන්සේගේ චිත්‍රය අතිශය ජනප්‍රිය විය.1923දී මෙම බෞද්ධ සිතුවම් කොළ ප්‍රචාරය කිරීම සඳහා විලියම් පේද්‍රිස් සමාගම සිංහල ජාතිය පුවත්පතෙහි කර්තෘ පියදාස සිරිසේන මහතා ලවා "බෞද්ධ සිතුවම් වර්ණනා කාව්‍ය" නමින් චිත්‍ර නාමාවලියක් වශයෙන් කුඩා ග්‍රන්ථයක් නිකුත් කර ඇති අතර එම ග්‍රන්ථය සැලසුම් කරන ලද්දේ ද සාර්ලිස් ශිල්පියා විසින්මය.
මාළිගාකන්ද විහාරයත් බෞද්ධ සිතුවම් කොළ නිසාත් සාර්ලිස් ශිල්පියා දිවයිනේ ඉතා ප්‍රසිද්ධියට පත්වූ අතර ඒ නිසාම ඔහුට බොහෝ විහාර සිතුවම් කිරීමේ අවස්ථාවද උදා විය.ඔහු වින්ම සිතුවම් කළ විහාර මන්දිර අතර කොළඹ මාළිගාකන්ද විහාරයත් බෞද්ධ සිතුවම් කොළ නිසාත් සාර්ලිස් ශිල්පියා දිවයිනේ ඉතා ප්‍රසිද්ධියට පත්වූ අතර ඒ නිසාම ඔහුට බොහෝ විහාර සිතුවම් කිරීමේ අවස්ථාවද උදා විය.ඔහු වින්ම සිතුවම් කළ විහාර මන්දිර අතර කොළඹ මාළිගාකන්ද විහාරය අශෝකාරාමය ඉසිපතනාරාමය වේළුවනාරාමය පොතුපිටියේ පූජාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය සුදර්ශනාරාමය තිස්සමහාරාමය වරකාගොඩ විහාරය බෝමිරිය ගනේවත්ත විහාරය සහ ඉඳුරුව යාලේගම විහාරය ප්‍රධාන තැනක් ගනී.
එපමණක් නොව ස්වදේශ මිත්‍රයා පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වූ ඔහු ප්‍රථම සිංහල චිත්‍රපටය වීමට ඉඩ තිබූ "රාජකීය වික්‍රමය" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වශයෙන්ද කටයුතු කර තිබේ.ඊට අමතරව ඔහු සිය දැනුම බෙදාදීමේ අරමුණින් අරඹන ලද දෙමටගොඩ ඇල්බියන් මාවතේ ලංකා චිත්‍ර කර්ම විද්‍යාලය එවකට බෞද්ධ සිතුවම් කලාවේ ආකර්ශනීය අවස්ථා ජනතාව අතරට ගෙන යාමට සමත් විය.
කිසියම් පුද්ගලයෙකු සුවිශේෂී තත්වයකට පත්වන්නේ කාලීන වශයෙන් සමාජය ඉදිරියට පැමිණ තිබෙන අත්‍යාවශ්‍යම ගැටළු වලට විසඳුම් සොයා දී ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පත් කර දීමෙනි.මාතර වෙහෙරහේන අසූඅට රියන් මහා බුද්ධ ප්‍රතිමා කර්මාන්තයේ යෙදී සිටිය දී 1955 නොවැම්බර් 21 දින ඇම්.සාර්ලිස් චිත්‍ර කලා වේදියාණන් අභාවප්‍රාප්ත වන තුරුම ඔහු කාලීන අවශ්‍යතා සපුරාලමින් ජනතාවට සේවයක් කළ කලාකරුවෙකු විය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...